අභයගේ කාල යාත්‍රාව, ශ්‍රී ලංකාවේ මානව පරිණාමයේ නොකී කතාව... 3 කොටස

 

 අභයගේ කාල යාත්‍රාව, ශ්‍රී ලංකාවේ මානව පරිණාමයේ නොකී කතාව...                        

3 කොටස



කාල යන්ත්‍රයේ නොදුටු පියවර තබමින් අභය නැවතත් අවදි වූයේ කඳුකරයෙන් හමන සිසිල් සුළඟත්, මිටියාවත්වලින් නැගෙන සරුසාර පස් සුවඳත් එකට මුසු වූ අලුත්ම හෙළ දෙරණකය. යකඩ උණු කරන දැවැන්ත උදුන්වලින් නැගෙන රතු පැහැති ගිනි සිළුවලින් ගිරි දිවයිනේ කඳු මුදුන් ආලෝකමත් වෙමින් පැවතිණි. ඒ, ලෝහ තාක්ෂණයේ අග්‍රඵලය නෙළාගත්, බලසම්පන්න යක්ෂ (යක්ඛ) ගෝත්‍රිකයන්ගේ දේශයයි.

 


ඔවුන්ගේ අණසකට යටත් සරුසාර මිටියාවත් දෙසට අභය නෙත් යොමු කළේය. එතැන ජීවත් වූයේ කුස ගින්නෙන් දෙරණ සුරකින, "කුස් රක්නා" හෙවත් "රකුස්" ජනතාවයි. සූර්යයාගෙන් වේලාවත්, චන්ද්‍රයාගෙන් කලාවත් මැන බලමින් ඔවුහු  වෙලාවට කලාවට අසිරිමත් කෘෂිකර්මාන්තයක නිරත වූහ. රකුස් පිරිමින් හා කරට කර වැඩ කළ රාස්සියන් (රකුස් කාන්තාවන්) අස්වැන්න නෙලා, තද කහ පැහැති අව් රශ්මියෙන් වී වියළා ගත්තේ මහා දැනුම් සම්භාරයකිනි. අදටත් අප "රාස්සිගේ අව්ව" ලෙස හඳුන්වන ඒ කහ පැහැති හිරු එළිය, අස්වැන්න නරක් නොවී කල්තබා ගැනීමට සොබාදහම දුන් දායාදය විය. මැදින් මහේ පොළොවට වැටෙන දම් පැහැති ආලෝකයේ රහස හඳුනාගනිමින් ඔවුහු අල බෝග වගා කළහ.


 නමුත් මේ හෙළ බිමේ තවත් ප්‍රබල රහසක් පැවතිණි. පහත් තලාවේ මහා ගංගා පද්ධතීන් පාලනය කළේ මුහුද සහ වෙළඳාම ජයගත් නාග ගෝත්‍රිකයන්ය. කැළණි ගඟ එදා අතිශය කාර්යබහුල නාවික මාර්ගයක් විය. "කැළණි ගඟේ ඔරු යනවා බලා වරෙන්..." යැයි අනාගතයේ ජනකවියා ගායනා කිරීමට පෙළඹෙන තරමට, රෝමය, චීනය සහ දකුණු ආසියාව යා කළ මහා සාගර වෙළඳ නෞකා කැළණිය මුල් කරගෙන යාත්‍රා කළේය.


 

මහා සාගරය තරණය කරන නෞකා තැනීමට නාගයින්ට අවශ්‍ය වූයේ යක්ෂයින් සතුව තිබූ උසස් ලෝහ තාක්ෂණයයි. අභයට මහා ගැටළුවකි?, මේ මහා ගෝත්‍ර දෙක හමුවන්නේ කෙසේද? ඔහු නාග වෙළෙන්දෙකුගේ රුවල් ඔරුවකට ගොඩ වී කැළණි ගඟ දිගේ ඉහළට ගමන් කළේය.
ගඟේ ඉහළට යද්දී දියවැල් සැර විය. රුවල් ඔරුව තවදුරටත් ඉදිරියට පැදවිය නොහැකි තොටුපළට පැමිණි විට, නාගයෝ තම රුවල් ඔරු නතර කළහ. අද "රුවන්වැල්ල" ලෙස අප හඳුන්වන ඒ අතීත රුවල්වැල්ලෙන් බැසගත් ඔවුහු, එතැන් සිට ගමන් කළේ පැතලි අගුල් මගිනි. අගුල් නතර කළ අගුළුවැල්ල (වර්තමාන අගුරුවැල්ල) පසුකරමින් ඔවුහු ගිරි දිවයිනේ මායිමට පැමිණියහ.



ගිරි දිවයිනේ අරක්ගත් යක්ෂයෝ කිසිදිනක පිටස්තර නාගයින්ට තම අභ්‍යන්තර රාජධානියට ඇතුළු වීමට ඉඩ දුන්නේ නැත. එබැවින් නාගයින් සහ යක්ෂයින් වෙළඳාම උදෙසා සම්මුඛ වූ, දෙගොල්ලන්ම අරක්ගත් ඒ රහස්‍ය මායිම් භූමිය "නා-යක් අරක් ගත්තැන" හෙවත් "අරනායක" නම් විය.
මානව ශිෂ්ටාචාරයේ ඒ මහා එකමුතුව දෙස අභය බලා සිටියේ විස්මයෙන් පිරි දෑසිනි. හෙළ බිමේ යක්ෂ, රකුස් සහ නාග යන ප්‍රෞඩ ගෝත්‍රිකයන් එක්ව ගොඩනැගූ මෙම අදෘශ්‍යමාන අධිරාජ්‍යය, කාලයේ ඊළඟ පරිච්ඡේදයේදී කුමනාකාරයේ දැවැන්ත පෙරළියකට මුහුණ දෙනු ඇත්ද?

 

 

 

 

Comments

Popular posts from this blog

Curio Lanka (කියුරියෝ ලංකා) – කුතුහලයෙන් ලෝකය දකින ප්‍රඥාවන්ත පරපුරක් උදෙසා!

ක්වොන්ටම් ලෝකයට පිවිසුමක්: පරමාණුවටත් වඩා කුඩා අදෘශ්‍යමාන විශ්වයේ අභිරහස්

ස්වභාවධර්මයේ සැඟවුණු ගණිතය: මොනවාද මේ 'ෆ්‍රැක්ටල්ස්' (Fractals)?