"වියළි නදිය හඬද්දී - යෞවනයේ කේතය සොයාගිය අකලංක"
🌿 නවෝද්‍ය පරපුර වෙනුවෙන් (වයස 12 - 35): "වියළි නදිය හඬද්දී - යෞවනයේ කේතය සොයාගිය අකලංක"
අකලංක යනු නගරයේ කොන්ක්‍රීට් වනගහනය සහ තිර මත දිලෙන ඩිජිටල් ලෝකය අතර අතරමං වූ විසිදෙහැවිරිදි තරුණයෙකි. දිනපතා දිවෙන තරඟකාරී රටාව, අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාව සහ හදවතේ තදින්ම මුල්බැස තිබූ හිස්බවත් නිසා ඔහුට අවශ්‍ය වූයේ මේ සියල්ලෙන් මොහොතකට මිදී නිදහසේ හුස්ම ගැනීමටයි.
ඔහු තීරණයකට එළමුනි. තම ගමන් බෑගයද කරපින්නාගෙන තමන්ට හුරුපුරුදු මධ්‍යම කඳුකරයේ හුදකලා ගම්මානයකට පැමිණියා. ඒ ගම අයිනෙන් ගලා බට කුඩා ගංගාව දෙස බැලූ අකලංකට දැකගත හැකි වූයේ දැවැන්ත ශෝකයකි. පෙරදා මහ ජලකදක් පුරවාගෙන ආඩම්බරයෙන් ගැලූ නදිය අද කුඩා දිය පහරක් බවට පත්වී, වියළි ගල් කැට අතරින් අසරණව ගලා යයි. ගඟ අයිනේ තිබූ තේ කඩයක අසුන්ගත් ඔහුට, ගමේ අසූවයස් මහලු පරිසරවේදියෙකු වූ දේවප්‍රිය මුත්තා මුණගැසුණි.
"සීයේ, මේ තරම් සරුසාර කඳු පන්තියක් මැද තියෙන මේ ගඟ මෙච්චර වියළෙන්නේ කොහොමද?" අකලංක ඇසීය.
දේවප්‍රිය මුත්තා සිනාසී වියළි ගඟ දෙසට අත දිගු කළේය. "පුතේ, උඩ කඳු මුදුනේ තිබුණු මුළු ජල පෝෂක වනාන්තරෙන් අද ඉතිරි වෙලා තියෙන්නෙ මේ අත්ල තරම් පුංචි කොටසක්. කැනඩාවෙ ලොකු කොම්පැනියක් ඇවිල්ල පටන්ගත්ත ලොකු ව්‍යාපාතියක්. ගමේ තරුණයන්ට රස්සා දෙඤ්ඤං, ගම සුරපුරයක් කොරඤ්ඤං කියල තමයි ඒ ඇත්තො ආවෙ. අපි කොච්චර විරුද්ධව කැගැහැව්වද? පෙත්සං අස්සන් කොළා. පෙළපාලි ගියා. කෝ ඒව බීරි අලින්ට වෙණ ගයනව වගේ උනා. "
"ඉතිං මුත්තෙ, ගමේ තරුණයන්ට රස්සාවල් හම්බුවෙලා ඒ ගොල්ලො දැන් ගොඩක් දියුණු වෙලා ඇති නෙ...? අකලංක මුත්තගෙන් අහපි.
" හම්බු උනා. හම්බූ උනා.... සීයා සමච්චල් හිනාවක් දැම්ම. " මොන රස්සාද? ගමේ කොල්ලො කුරුට්ටො හත් අට දෙනෙකුට ඔය සෙකුරටිද මොකක්ද මන්ද මළ ඉලව්වක් හම්බ උනා. එච්චරයි."
"මිනිස්සු හිතුවෙ කැලේ ටිකක් කැපුවට ගඟටම මොනවා වෙන්නද කියලා. ඒත් සොබාදහම කියන්නේ එකිනෙකට බද්ධ වුණු මහා පද්ධතියකට. කුඩාම කුඩා ගසක් කැපෙනකොට, ඒකෙන් ඇතිවෙන කම්පනය මුළු නදියටම බලපානවා."
දේවප්‍රිය මුත්තා බිම වැටී තිබුණු වියළි කොළයක් අතට ගත්තා. "පුතාලාගේ මේ තරුණ කාලයත් හරියට මේ ගඟ වගෙයි අකලංක. තාරුණ්‍යය කියන්නේ නිදහසේ, රිද්මයට ගලාගෙන යන ගංගාවකට. ඒත් නගරයේ තියෙන තරඟකාරී බවයි, පරිභෝජනවාදයයි විසින් ඔයාලගේ හදවතේ තියෙන සැබෑ ස්වාභාවික රිද්මය වියළලා දාලා. ඔයාලා හිතනවා ඔයාලා වෙනම ජීවත් වෙනවා කියලා. ඒත් පුතත්, මේ වියළි කොළයත්, මේ ගඟත් ක්‍රියාත්මක වෙන්නේ එකම විශ්වීය ගණිතයකට, එකම ජෛවීය රටාවකට." දේවප්‍රිය මුත්තා මහා දාර්ශනික අදහසක් අකලංක ඉස්සරහ අතෑරිය.
අකලංක දැඩි තීරණයකට එළඹුනි. නැවත නොහැරවෙන අධිෂ්ඨානහීලි හැගිමකින් ඔහු පිබිදුනි.
"මුත්තෙ, මම මේ ගගට නැවත පුනර්ජිවනය දෙන්න තීරණය කළා. මුත්ත මට මහා ශක්තියක්. අපි ගමේ තරුණ තරුණියන් අතරට ගිහිල්ල හෙටම මේ වැඩේ පටන් ගමු." අකලංක තම අදහස මුත්තාට පැවසීය.
එතැන් සිට දින කිහිපයක් අකලංක දේවප්‍රිය මුත්තා සහ ගමේ තරුණයන් සමඟ එකතු විය. ඔවුහු කඳු මුදුනේ ජල පෝෂක ප්‍රදේශවල නැවත පැළ සිටුවීමේ අභියෝගයට අතගැසූහ.
මඩ තැවුණු තම දෑත් දෙස බැලූ අකලංකට, මාස ගණනාවකට පසු ප්‍රථම වතාවට තමා තුළ මහා බලයක් සහ අර්ථවත් බවක් දැනෙන්නට විය. තාරුණ්‍යය යනු හුදෙක් තමන්ගේ පුද්ගලික සාර්ථකත්වය පසුපස පමණක් අයාලේ යන ගමනක් නොවන බවත්, පරිසර පද්ධතියේ සහ සමාජයේ බිඳීගිය සංතුලනය නැවත ගොඩනගන එයට පුනර්ජීවනය කැන්දන (Regenerative) ප්‍රධානම ශක්ති ප්රභවය තමන් ඇතුළු මේ පරිසර හිතකාමී පිරිස බවත් ඔහු තේරුම් ගත්තේය.
මසකට පසු නගරයට ආපසු එන විට අකලංක අත තිබුණේ වෙනස්ම දැක්මකි. ඔහු තවදුරටත් තාක්ෂණයෙන් පලාගියේ නැත; ඒ වෙනුවට පරිසර සංරක්ෂණය සහ තිරසාර පද්ධති නිර්මාණය සඳහා තම තාක්ෂණික දැනුම භාවිත කරන "නැවුම් පරම්පරාවක" ආරම්භකයා බවට ඔහු පත් විය.
🧠 නවෝද්‍ය පරපුරට සිතාබැලීමට සිතුවිල්ලක් (Reflection):
ස්වභාවධර්මයේ සිදුවන කුඩාම වෙනසක් මුළු පද්ධතියටම බලපායි (Chaos Theory). ඔබේ තාරුණ්‍යයේ ශක්තියෙන්, ඔබ අවට ඇති පරිසරයට සහ සමාජයට එකතු කරන්නේ විනාශකාරී බලපෑමක්ද, නැතහොත් පද්ධතියම ජීවත් කරවන ධනාත්මක කම්පනයක්ද?
Comments
Post a Comment